අයාලේ ගිය මේරිච්ච කොලයක් හුලඟට කැරකිල ඇවිත් කකුල උඩට වැටිල බිම වැටුන. නමක් නොදන්න කහ ගැහිච්ච කොලයක්.හිත ඇතුලෙ එහාටත් මෙහාටත් ගැටෙන හිතිවිලි අතරෙ කොලේ ඇහිඳල නටු කෙලවරින් එහාටත් මෙහාටත් කරකවන්න ගත්තෙ මටත් නොදැනිම. මගේම අතරමං වෙච්ච සිතිවිලි එක්ක ඇඟිලි තුඩු අතර හිරවෙච්ච කොලය බඹරයක් වගේ කැරකෙන්න ගත්ත. හැඩයක් නොපෙනෙන්න වේගෙන් කැරකැවුන කොලය වේගය අඩු කරද්දි ඉර එලියට දිලිසුනේ කලින් නොපෙනුන සංකීර්ණ ජාලයක්. සියුම් මේරිච්ච කොලයක උනත් ඇතුල කොච්චර සංකීර්ණද? මම ඇඟිලි තුඩු මෑත් කරල කොලයට ආයෙමත් අයාලෙ යන්න දුන්න.නිදහස් වෙච්ච ගමන් ඒක තවත් ආගන්තුක හුලඟකට අහුවෙල කරනමක් ගහල ටිකක් ඈතින් බිමට වැටුන.ආයෙමත් ඉගිල්ලෙන්න වගේ ඉස්සුනත් වෙහෙස වෙලා වගේ එතනම රැඳුන.
වෙනද වගේම අහස කළුවර වී ගෙන ඇවිත් ලෝකයාගෙන් මාව හංගද්දි රස්තියාදු ගහපු හිත ඇවිත් උද්‍යාන කෙලවරේ බංකුව ගාව නැවතුනේ මාවත් එක්කරගෙන පටු මුඩුක්කු පාර කෙලවරට යන්න.ඒත් යන්න හදපු හිතම ආයෙම මාත් එක්කම බංකුවේ ඇලවුනේ අහේතුකවම නෙවේ.මේ ජීවිතයත් දැන් අහිගුණ්ටික වෙලා. මට ඕනෙ ආයෙම වෙන තැනකට යන්න. වෙලාවකට මට ඕන කිසිම බැඳීමක් නැති දන්න කියන කාත් කවුරුවත් නැති තැනකට වෙලා අයෙම ජිවත් වෙන්න.ඇත්තටම ජිවත් වෙන්න ඕනද ? නැහැ.... ජිවත් වීමටත් වඩා ජිවිතේ අඳින්න හදපු ලස්සනම චිත්‍රෙ කටුසටහන ඉරල දැම්මම දැන් ජිවිතය එක්ක ඉතිරිවෙලා තියෙන්නෙ නොවිසදුනු ගනුදෙනුවක්.ඒත් මට දැන් වෙහෙසයි. අර අයාලේ ගිහින් වැටිල හති අරින මේරුණු කහ ගැහිච්ච කොලය වගේම මට වෙහෙසයි.
............................................................................................................
අවුරුදු පහකට පෙර
රුම් නම්බර් ෆයිව් දිනය ...සිකුරාදා
රෑ නවයහමාර වෙන්න තව පැය කාලයි. ඒ වෙනකොටත් පිරිමි තුන් දෙනෙක් සැරිසරපු කාමරේ කිළිටි ඇඳඇතිරිලි සැකසුවේ පුරුද්දට වගේ.ලාවට කැරකෙන විදුලි පංකාවට කාමරේ තිබිච්ච රස්නෙ දාඩිය සැර දරාගන්න බැරි තරම්.අරින්න තහනම් සීල් කරපු වීදුරු ජනේල ගාවට බංකුව තල්ලු කරන් ගිහින් පරිස්සමින් උඩ නැගල බිත්තියෙ වා කවුළුවෙන් අහස බැලුවෙ ළඟදීම වටකුරුවෙන අඩ හඳ බලන්න. නැවුම් හඳක් ළඟදීම පායාවි. ඔව්...වටකුරුවෙලා හරි ලස්සනට. තව කොච්චර කල් බලා ඉන්නද ? ඒ හඳ බලන්න මේ හිත කොච්චර නම් නොයිවසිලිමත්ද ?
ඇත්ත ...........හිත අද වෙනදාටත් වඩා නොඉවසිලිමත්. මම හෙමින් සීරුවෙ බංකුවෙන් බැහැල ගිහින් කන්නාඩියෙන් මූණ බැලුව එක අතකින් තොල් ආලේපන වලට අත යවද්දි අනෙක් අත ඉබේටම කුස පුරා හෙමින් දිව ගියේ හිත පතුලෙන්ම දැනුන මාතෘත්වයේ සෙනෙහෙකින්. කොහොම කියන්නද ...ඒක වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. මම දැන් අම්ම කෙනෙක් ඔව් මටත් දැන් ඒ හැඟීම දැනෙනව. මම ආයෙමත් ඔරලෝසුව දිහා බැලුව.වෙලාව දහයාමාරයි. අසේල කවදාවත් මෙච්චර රෑ වෙන්නේ නැහැ නෙ. හිත අස්සෙන් එලියට පනින්න හදන එන රිදුම උඩුදුවන්න කලින්ම මම ම හෙමීට දොර ඇරලා පහල මාලෙ අචලා අක්ක ගාවට ගියා. එතකොටත් තවත් ආගන්තුක ඇස් කීපයක්ම මං බැලුවෙ ගිලගන්න වගේ.
අචල අක්කෙ තාම අසේල ආවේ නැහැ නේ. අද එන්නෙ නැහැ කියලවත් කිව්වද ?
කවුද දන්නෙ. ඇයි උඹ ගාව නම්බරයක් නැද්ද ?
නැහැ වැඩ කරන්නේ නැහැනෙ ඒක හවස ඉඳන්
උන් එනව යනව ඔහොම තමයි හිතුනොත් ආයෙම හෙට එනව නැත්නම් මාසෙකින් ..පහුගිය ටිකේම හත වෙද්දි මෙතනනෙ අද ඌ එන්නෙ නැතිවෙයි. හැබැයි අලුතෙන්ම ආව කස්ටමර්ල දෙතුන දෙනෙක් කෙනෙක් නම් ඉන්නව මොකද කියන්නෙ උඹට සෙට් කරන්නද ?
එපා අද ටිකක් ඔලුව රිදෙනව වගේ .. අමාරුයි ..හරි මං යන්නම් එහෙනම්
මම ආයෙමත් කාමරේට ගිහින් දොර තදින් වහල හුදෙකලා ඇඳක තනිඋනා.ඇස් අග රැඳුන කඳුළු බිංදුවක් කිලිටි සුදු ඇඳ ඇතිරිල්ල උඩට වැටිලා අතුරුදහන් උනා. ආයෙම අසේලට ඇමතුමක් ගත්ත ..
' ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න ....... '
............................................................................................................
රූම් නම්බර් ෆයිව් දිනය ...බ්‍රහස්පතින්දා වෙලාව රෑ නවයයි ..
අසේල මට ඇත්තම කියන්න ඔයා මාව බඳිනවද නැද්ද ?
බඳිමු ඒත් දැන්ම නෙවේ. ගහෙන් ගෙඩි එන්න වගේ මම කොහොමද ඔයාව ගෙදර එක ගෙන යන්නෙ................අනෙක ......
මොකක්ද ..කියන්න මොකක්ද කියන්න හැදුවෙ ........
අනෙක මං කොහොමද දන්නෙ ඔයාට ලැබෙන්න ඉන්නේ මගේම දරුවෙක් කියල
මොකක් ...ඔයාට තාමත් මාව විශ්වාස නැද්ද ? ඔයා හොඳටම දන්නව මේ හැමදේම උනේ ඔයාගේ කැමැත්තට කියල. දැන් කියන්නේ ඔයා මට ආදරේ නැහැ කියලද ඉස්සර කිව්ව හැමදේම චාටු කතා , හිතේ මැව්ව හීන මාලිගා ඔක්කොම බොරු කියල කියන්නද ..ඇයි කතා නැත්තෙ ...අහ්හ් කියනවා ඒ ඔක්කොම බොරුද ?
ශ්ෂ්ෂ් ඔහොම කෑ ගහන්නෙපා මම බඳින්නෙ නැහැ කිව්වේ නැහැනෙ. හෙමින් ..හෙමින් කතා කරන්න අනෙක් රූම් වල ඉන්න එවුන්ටත් ඇහෙයි ...
අචල අක්ක දන්නවද මේව
නැහැ එහෙම උනොත් මට මෙහෙ ඉන්න වෙන්නේ නැහැ.මේ දේවල් දැනගන්න කලින් පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් යන්නයි මට ඕන
ඒත් මේ හදිසියේම ...
ඔයා කියන්නේ මට මේ ලමයවත් බඩේ තියාගෙන තවත් මිනිස්සු එක්ක බුදියන්න කියලද ? ...කී දවසක් කියලද ?
මාලි මේ අහන්න කලබල වෙන්නැතිව... කෝ මෙහෙ බලන්න ...ඔයා බොරුවට කලබල වෙලානෙ.
මේ අහන්නකො මං කියන දේත් ... ඔයාට තාම විසිදෙකයි මට උනත් තාම හිතාගන්න බැහැ අනාගතේ ගැන ..ඔයා කැමතිද ඇබෝෂන් එකකට
අසේල ...........ඔයා දැන් කියන්නේ මට මේ දරුවව මරන්න කියලද ????
............................................................................................................
රුම් නම්බර් ෆයිව් දිනය ...සෙනසුරාදා
රුම් නම්බර් ෆයිව් - ' ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න ....... '
.
රුම් නම්බර් ෆයිව් දිනය ... ඉරිදා
රුම් නම්බර් ෆයිව් - ' ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න ....... '
.
.
රුම් නම්බර් ෆයිව් දිනය ... සඳුදා
රුම් නම්බර් ෆයිව් - ' ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න ....... '
.
.
.
............................................................................................................
අවුරුදු පහකට පසු
ඒ සෙනසුරාද දවසක් බඩු වගයක් ගන්න ටවුමට ගිය වෙලාවේ දැක්කෙ හුරුපුරුදු මූණක්. අවුරුදු ගානක්ම හෙව්ව මූණක්. අවුරුදු ගානක්ම තැවරිච්ච ලේ පැල්ලම් පිරුණු අත් වලට පිපාසිත දසුනක් .... ඒ අසේල ... එක අතකින් ළමයෙක් වඩාගෙන අනෙක් අතින් බඩු මල්ලක්. අවුරුදු ගානකින් ඒ හුරුපුරුදු මූණ දැක්කට පස්සෙ මුළු හදවතම දියවෙලා කඩාවැටෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ. මම බඩු රාක්කයකට මුවාවෙලා ඒ මූණ දිහා ගොඩක් වෙලා බලන් හිටය. උනුහුම් වෙච්ච කඳුළු කැට අවුරුදු ගානක් පුර වේලිච්ච ඇස් තෙත් කරන්න වැඩිවෙලා ගියේ නැහැ.අසේල පිටිපස්සෙන්ම හිටියෙ හින්දැරී ලස්සන ගෑනියෙක්. අසෙලගෙ අතේ එල්ලිලා හිනාවෙලා ඉස්සරහට යද්දි මම බඩු රක්කවලට මුවාවෙලා පිටිපස්සට ගිහින් කඩෙන් එලියට දිව්ව. මම කොහොම ඒ දවස අමතක කරන්නද ඒ අවුරුදු පහකට පස්සේ අසේලව ආයෙම හම්බුන දවස මේ ඇස් කොච්චරනම් ඒ මූණ දකිනකම් වෙහෙසුනාද.පුපුරන ගිනි පුලුඟු වගේම දියවෙන අයිස් වගේ කඳුළු කැටත් කොච්චරනම් ඒ ඇස් වෙනුවෙන් වැටිලා වේලිල යන්න ඇත්ද? ඒ ඔක්කොටමටත් වඩා .........හ්ම්ම් ඒ දවස හරියටම කිව්වොත් ... ඒ අසේල නිසා මට ඉපදෙන්න හිටිය දරු පැටියව මරල දාල අවුරුදු තුනයි මාස දෙකකකට පස්සේ දවස.
............................................................................................................
මට ඕන උනේ ආයෙමත් කවුරුවත් නොදන්න පළාතකට යන්න හතරවෙනි සෙයිලමෙනුත් ඈත්වෙලා ඈතම පළාතකට යන්න. අන්තිමට රැඳුන රූම් නම්බර් අටට අද දවසෙදි සමුදෙන්න.මේ කැළැල් පිරිච්ච ජීවිතේට සදහටම සමුදෙන්න වුනත් දැන් කාලය හරි.
උද්‍යාන කෙලවරේ ඉඳන් අතීතය වර්තමානයත් අතර හිත දුවද්දි ආයෙමත් මං ළඟ නැවතුනේ ආපු කෙටි පණිවිඩයකට. 'රූම් නම්බර් එයිට්' පණිවිඩය ආවේ එහෙම. 'සුදූ ...අද හවස මීට් වෙමුද ? '
'හරි ... ආදරෙයි '...මම එසැනින්ම කෙටි පණිවිඩය යෑව්ව. .........'පිස්සෙක්' මට ඉබේටම කියවුනා.
අසේලගෙ නම්බර් එක මම තියාගෙන තිබ්බේ රූම් නම්බර් එකෙන් එදා ඉඳන් ගිය ආගිය හැම තැනකම මට ආදරේ කරපු හැම මනුස්සයෙක්ගෙම දුරකථන අංකය තියාගත්තෙ රූම් නම්බර් එකෙන්. රූම් නම්බර් ත්‍රී , රූම් නම්බර් වන් ,රූම් නම්බර් සීරෝ....... වැඩිය නැහැ මතක මලු හතරයි විසිරෙච්ච තඩි ලේ පැල්ලම් තුනයි.
වෙනදාටත් වැඩිය කලින් ඉර හැංගිලා බැහැල යද්දි සපත්තු අඩි වලට පෑගී පෑගී ඉරිල යන වේලිච්ච කොලේ දිහා මම ඔහේ බලාගෙන හිටිය. මගේ හිත මෙච්චරටම කිලිටි උනේ කොහොමද කියල මටවත් හිතාගන්න බැහැ. හිස් වෙච්ච කුස පුරා අහම්බෙන් අත දුවල යද්දි මම මිනිමරුවෙක් නේද කියල කියන්නෙ තියුණු කිනිස්සෙන් ඇනල මේ අතපුරා , ඇඟ පුරා විසිරිච්ච ලේ පැල්ලම් නෙවේ. දෙපාරක්ම මේ ලෝකෙට එන්න හදපු පැටව් දෙන්නෙක්ට අම්ම කෙනෙක් වෙන්න බැරිව මරා දාපු මේ හිතට.ඒකට වැරදිකාරය මම නෙවේ. ඔව් ... මම විතරක් නෙවේ. අර ලේ පැල්ලම් වල අයිතිකාරයොත් මේවට වගකියන්න ඕන
.. ඔව් පැටවුනේ ඒ ඒ උඹලගෙ තාත්තල.
හිත ඇතුලෙන් හැමදාම වගේ නැගුන සියුම් රිදුම තුවාල වනයක් වගේ ආයෙමත් ඇඟ පුරා උඩුදුවල.... මම ආයෙමත් ලොකු හුස්මක් පිටකලා.
ලෝදිය වගේ කැකෑරෙන මේ හිතට තවත් සිහිල් වතුර ලැබෙයි කියල මට බලාපොරොත්තු තියාගන්න බැහැ. ඒ හැම බලාපොරොත්තුවක්ම පැල වෙලා උඩට නගිද්දි හැම වෙලාවකම උනේ හිත ආයෙම දරුණු විදිහට තුවාල වෙලා පැලැස්තරයක් වැටුන එක. මම එකම වැරැද්ද ආයෙම ආයෙම කරපු ගෑනියෙක්. ආදරේ හොයාගෙන ගිහින් අතරමං උන ගෑනියෙක්. ආදරේ නිසාම මිනිමරුවෙක් උන ගෑනියෙක්. ඒත් ...මේ අත් තවම පිපාසිතයි.අවුරුදු පහක් තිස්සේ මේ හිතේ වහගෙන ඉන්න ලොකුම පැලස්තරෙන් ගලන සැරව , ලේ මේව නවතින්නෙ මේ අත් පිපාසයෙන් හොයන ලේ තැවරුනොත් විතරයි. ලෝකයා යම් දවසක කියාවි මම වැරදි කාරයෙක්. උමතුවක්, පිස්සෙක්, මිනීමරු ගෑනියෙක්..... ඒත් .....ඒත් මේ හිත සැනසේවි. කවද හරි දවසක මේ හිතේ පැලැස්තර වලින් මතකයේ සැරව ගලන එක නවතීවි. සමහර විට මේ හිතට සැනසීමක් දෙන්න පුළුවන් හොඳම දවස අද.
මම අන්තිම වතාවටත් ඇමතුමක් ගත්ත.
රුම් නම්බර් ෆයිව් - ' හෙලෝ ...කවුද මේ ......'

No comments:
Post a Comment